Monday, May 30, 2016

පොත් කියවීමේ අමාරුව

පොත් කියවීමේ අමාරු ජාති දෙකක් තිබිය හැක. එක පොත් කියවීමේ අමාරු ජාතියක් නම් පොත් නොකියවා සිටීමට නොහැකි වීමය. එනම් පොත් කියවීමට ඇබ්බැහි වීමය. මත් ලෝලියෙක් මත් කුඩු වලට ඇබ්බැහි වී සිටින්නා සේ, සූදු කෙළින්නෙක් සූදු කෙළීමට ඇබ්බැහි වී සිටින්නා සේ, සමහර ගෑණුන් විලාසිතා වලට ඇබ්බැහි වී සිටින්නා සේ පොත් කියවීමට ඇබ්බැහි වී සිටීමය.

ඒ එක පොත් කියවීමේ අමාරුවකි.

ඒ අමාරුව හොඳ අමාරුවකි. මන්ද "කියවීම මිනිසා සම්පූර්ණ කරයි" කියා කවුදෝ පඬිවරයෙක් කියා ඇති නිසාය. (මිනිසෙක් සම්පූර්ණ වීමට කියවීමම පමණක් ප්‍රමාණවත් වී ඌ කියවන්නේ කුමක්ද කියන කාරණයේ වැදගත් බවට ඒ පඬියා අවධානය යොමු නොකිරීම දැනට අමතක කරමු)

අවාසනාවක මහත කෙතරම් මහතද කියනවා නම් මට ඇත්තේ එහෙම අමාරුවක් නොව, වචනයේ අර්ථයෙන්ම පොත් කියවීමේ අමාරුවකි. එනම් මට පොත් කියවීමට අමාරුය. අපහසුය. දුෂ්කරය. අසීරුය. බැරිය.

පාසැල් වියේ පාඩම් කරන්නට සිදුවීම නිසාම කියවූ පෙළ පොත් හැර ජීවිතයේ සම්පූර්ණයෙන් කියවා ඇත්තේ ෂර්ලොක් හෝම්ස් පොත් මාලාව පමණි (කථා මාලාව පරිවර්තනය කල චන්දන මෙන්ඩිස්ට පිං). ඉන් එහාට කිසිදු පොතක් සම්පූර්ණයෙන් කියවූ බව මතකයේ නැත.

කියවීමට යැයි සිතා මිලදී ගත් පොත් නම් ඇති තරම් නිවසෙහි ඇත. නමුත් කියවීමට පටන් ගෙන පිටු පහ හයක් යන විටම මගේ සිත නවතින්නේ වෙන වෙන ලෝක වලය. මා කියවන විට සිතට එන අදහස් මා එක එක ලෝක වල අතරමං කරයි. පසුව මා කරන්නේ ඒ ඒ ලෝකවල රස්තියාදු ගසා අතරමං වීම විනා දිගටම අවධානයෙන් පොත කියවීම නොවේ.

එක දිගට එකම දෙයක් ගැන අවධානය යොමු කිරීමේ දුර්වලයෝ මේ ලෝකයේ සිටියි නම් ඔවුන්ගෙන් අග තැන්පත් දුර්වලයා මම දැයි මටම වෙලාවකට සිතේ. මෙය කරුමයකි. බාර හාර වී පොල් ගසා දෙහි කපා ගෙවා දැමිය නොහැකි තරමේ අභාග්‍යයකි.

දන්නා කියනා සියලුම දේ පාහේ ගූගල් දෙවියන්ගෙන් ඉගෙනගන්නා මම කෙසේ හෝ පොත් කියවීමට පුරුදු විය යුතුය. ඉටා ගත යුතුය. පටන් ගත යුතුය.

දැන් වේලාව රාත්‍රී 11:34 ය. හෙට සිට මා කියවීමට සිතාගෙන සිටින පොත කෙසේ හෝ කියවීමට පටන් ගත යුතුය.

අර නම නොදන්නා පඬියා කීවා සේ සැබවින්ම කියවීම මිනිසා සම්පූර්ණ කරයි නම් මම සෑහෙන අසම්පූර්ණ මිනිසෙකි. මම අසම්පූර්ණ බව පිළිගැන්මම බාගෙට හෝ සම්පූර්ණ වීම දෙසට තබනා පළමු පියවර විය හැක. ඔහු කියවීම මිනිසා සම්පූර්ණ කරයි කීවේ කට කසනවාට නොවිය යුතුය.

දැනට, ඒ පඬියා කෙරේ විශ්වාසය තැබිය යුතුය. කෙසේ හෝ පොත් කියවීමට ඉගෙනගත යුතුය.

Thursday, May 26, 2016

මගේම කියල බ්ලොග් එකක්

නිකමට හිතුනා මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න.


මගේම සිතුම්, පැතුම්, අදහස්, සතුට, කඳුළ, දුක, වේදනාව, සිනහව, අත්දැකීම්, කතන්දර එකම තැනකට ගේන්න.


ලියලම බලමු නේද?